රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී තමන්ට වාසි සලසා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 396 කට අධික මූල්‍යමය පාඩුවක් සිදු කළ බවට එල්ල වූ චෝදනා මත වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර බැට්ටගේ මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා අද (08) නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ දූෂණ චෝදනා හතරක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි. කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන මොහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බැවින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණි.














