සවුදි රජය විසින් ස්වෙච්ඡා හජ් වන්දනා සංවිධායකයන් වෙනුවෙන් ලබාදෙන ‘බේසා වීසා’ (Free Movement Pass) අවභාවිත කරමින්, හජ් කමිටු සභාපතිවරයා සහ එහි සාමාජිකයන් කිහිපදෙනෙකු සිය භාර්යාවන් වන්දනාවට සහභාගී කරවා ගැනීමට කටයුතු කර ඇති බවට හජ් වන්දනාකරුවන් පිරිසක් චෝදනා කරති. මෙවර ශ්‍රී ලංකාවට ලැබුණු බේසා වීසා 35න් කිහිපයක්, ඒ සඳහා සුදුසුකම් ලත් ස්වෙච්ඡා සේවකයන්ට ලබා නොදී කමිටු සාමාජිකයන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදාගෙන ඇති බව පැවසේ.
අදාළ වීසා ලබා ගැනීම සඳහා දේශපාලන අනුමැතිය ලබා ගැනීමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත්, මීට පෙර පූර්ව පුහුණු වැඩසටහන්වලට සහභාගී වූවන් පමණක් මේ සඳහා තෝරා ගන්නා බවට සභාපතිවරයා කළ ප්‍රකාශය ද මේ හරහා උල්ලංඝනය වී ඇති බවත් වන්දනාකරුවෝ පෙන්වා දෙති. සාමාන්‍ය හජ් වන්දනාවකට රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වුවද, බේසා වීසා හරහා රුපියල් 35,000කට අඩු සැකසුම් ගාස්තුවකින් පමණක් වන්දනාවේ යාමට හැකි බැවින්, බලධාරීන් මෙම අවස්ථාව වංචනික ලෙස භාවිත කර ඇති බවට චෝදනා නැඟේ.
ඉකුත් නොවැම්බර් මස පැවැති මාධ්‍ය හමුවකදී, මෙම බේසා වීසා 35ම ලබා දෙන්නේ හජ් කටයුතු සංවිධානය කරන නියෝජිතයින්ට පමණක් බවට හජ් කමිටුව පොරොන්දු වී තිබුණද එය මෙලෙස කඩ වී ඇත. මෙම වංචාව හේතුවෙන් මෙවර හජ් කටයුතුවල නියැලෙන ස්වෙච්ඡා සංවිධායකයන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත්, මීට පෙර අමාත්‍යවරුන් කළ මෙවැනිම දූෂිත ක්‍රියාවන් වත්මන් කමිටුව ද දිගින් දිගටම සිදු කරමින් පවතින බවත් වන්දනාකරුවෝ වැඩිදුරටත් අවධාරණය කරති.














