ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන පානීය ජල හිඟයට ස්ථිර විසඳුම් ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක සහ සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබා දී තිබේ. ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම සහතික කළ නොහැකි වීමෙන් සෞඛ්‍යමය හා සමාජීය ගැටලු රැසක් උද්ගත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී කිසිදු මූල්‍ය හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවද සහතික කළේය. ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගත් විශේෂ ව්‍යාපෘති යටතේ කොළඹ, ගම්පහ, මහනුවර, අනුරාධපුරය සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ජල ගැටලු පිළිබඳව මෙහිදී වෙන් වෙන්ව සාකච්ඡා කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ පැරණි ජල නළ අබලන් වීම නිසා සිදුවන ජල අපතේ යාම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ඒකාබද්ධ සැලසුමක් සකස් කිරීමට තීරණය වූ අතර, ගංවතුර පාලනය සහ පානීය ජල අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් සීතවක ඔය ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව උතුරුමැද මහ ඇළ සහ වයඹ ඇළ ව්‍යාපෘති හරහා වැලිකන්ද, මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රදේශවල පවතින උග්‍ර ජල හිඟයට විසඳුම් සෙවීම කෙරෙහිද අවධානය යොමු විය.
















