කොළඹ ප්‍රදේශයේ ෆාමසි කිහිපයක සිදුකළ වැටලීම්වලදී අනාවරණය වූ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් ෆාමසි හිමියන් තිදෙනෙකුට සහ ඖෂධවේදියෙකුට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 250,000ක පමණ දඩ මුදලක් නියම කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක නෙවිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකරන ලදී. මරදාන, කොළඹ 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවල පිහිටි ෆාමසි සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත.
අදාළ පිරිසට එරෙහිව ගොනු කර තිබූ චෝදනා කිහිපයක් සඳහා ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල් නියම කෙරිණි. ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා අතර ළමුන් සඳහා වූ කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීම, ලියාපදිංචි ඖෂධවේදියෙකු නොමැතිව ෆාමසි පවත්වාගෙන යාම, වලංගු බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීම, වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ නිකුත් කිරීම සහ ලියාපදිංචි නොකළ ඖෂධ ගබඩා කර තබා ගැනීම ඇතුළත් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු හතරක් ගොනු කර තිබූ අතර, අදාළ දඩ මුදල් නියම කරනු ලැබුවේ එම චෝදනා සම්බන්ධයෙනි.














