මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සඳහා ගෙන එන නව නීති මගින් අධිකරණ අධීක්ෂණයකින් තොරව පොලිසියට අසීමිත බලතල හිමිවීමේ අවදානමක් පවතින බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. දූෂණ විරෝධී සහ මූල්‍ය විනිවිදභාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පනත් ගෙනාවද, පවතින ආකාරයට සම්මත වුවහොත් එය වගවීම අඩපණ කළ හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
තමන් මුදල් විශුද්ධිකරණයට දැඩි ලෙස විරුද්ධ බව පවසමින් ශානක්‍යන් මහතා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ පනත් මගින් අධිකරණ අනුමැතියකින් තොරව පොලිස් නිලධාරියෙකුට දින 35ක් දක්වා දේපළ අත්හිටුවීමට බලය ලබාදීම බරපතල තත්ත්වයක් බවයි. ශ්‍රී ලංකා පොලිසියේ අඛණ්ඩතාව පිළිබඳව පවා පවතින ගැටළු හමුවේ, මෙවැනි අසීමිත බලතල ලබාදීම මගින් දූෂණ සහ අනිසි භාවිතයන් සිදුවිය හැකි බව ඔහු අනතුරු ඇඟවීය.
විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව පොලිස් සහ හමුදා පීඩනය යටතේ ජීවත් වන පසුබිමක, පොලිස් සැකය මත පමණක් පදනම්ව සාමාන්‍ය පුරවැසියන්ගේ දේපළ අත්හිටුවීම බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එබැවින්, අනාගතයේ සිදුවිය හැකි අනිසි භාවිතයන් වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත විධිවිධාන ඇතුළත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශානක්‍යන් රාසමානික්කම් මහතා වැඩිදුරටත් පැවසීය.













