27 April 2024
#දේශීය

ඩීපී එඩියුකේෂන් හි සිව්වන සාංවත්සරික සැමරුම් උළෙල කොළඹදී

ඩීපී එඩියුකේෂන් හි සිව්වන සාංවත්සරික සැමරුම කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පසුගිය 11 වන දින සවස් වරුවේ උත්සවශ්‍රීයෙන් පැවැත්වුනි.

ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා විසින් තොරතුරු තාක්ෂණය ඉගෙනීමේ ඇති වැදගත්කම, අනාගතයේ රැකියා වෙළඳපොලෙහි ඇතිවන විශාල ඉල්ලුම හා එමගින් ලංකාවට විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව මෙන්ම ලංකාවෙ කේතිකරුවන් මිලියනයක් බිහිකිරීමේ වැඩපිළිවල පිළිබඳව පැහැදිලි කරන ලදී.

මීට අමතරව ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදය නිර්මාණය කිරීමට ඩීපී එඩියුකේෂන් හට වසර හතරකින් හැකිවුණ බව හෙතෙම පැවසිය.

පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Bett Asia සම්මාන උළෙලේදී ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යන ඩීපී එඩියුකේෂන් වැඩසටහන ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ. මෙම සම්මානය පිරිනමනු ලබන්නේ පාසල් අධ්‍යාපනය නවීකරණය සඳහා නිර්මාණශීලී නවීන තාක්ෂණික විසඳුම් භාවිතා කරන අධ්‍යාපන වැඩසටහන් සඳහා ය. වාර්ෂික පවත්වනු ලබන Bett Asia සම්මාන උළෙලේදී ආසියා පැසිෆික් කලාපය තුළ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරන අධ්‍යාපනික තාක්ෂණ ප්‍රවණතා නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයින් ඇගයීමට ලක් කරනු ලැබේ. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ජපානය, කොරියාව, සිංගප්පූරුව සහ චීනය යන සෙසු තරගකරුවන් අබිබවා ඩීපී එඩියුකේෂන් ආයතනය මෙහිදී ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් පළමු ස්ථානයට පත්වීම විශේෂත්වයකි.

ඩීපී එඩියුකේෂන් හා සහසම්බන්ධ වන මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයට හා රූස්ටර් ටෙක්නොලොජීස් ආයතන වලට ඔවුන්ගේ හවුල්කාරීත්වය වෙනුවෙන් හා ඔවුන් නොමිලේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් ලබාදෙන දායකත්වයට සම්මාන ප්‍රදානය කොට ඇගයීමක්ද සිදුකෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *