ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයකට මේ දිනවල බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන්, එරට වැසියන් වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීමට විශාල වශයෙන් පෙළඹී සිටින බව වාර්තා වේ.
සාම්ප්‍රදායිකව ප්‍රංශයේ නිවාසවල වායු සමීකරණ යන්ත්‍ර භාවිතය ඉතා අවම මට්ටමක පැවතියද, වර්තමානයේ පවතින වාර්තාගත උෂ්ණත්වය හමුවේ එම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතී. ප්‍රංශයේ ප්‍රධාන නගර රැසක උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ විදුලි උපකරණ අලෙවිසැල් ඉදිරිපිට දිගු පාරිභෝගික පෝලිම් දක්නට ලැබෙන අතර, වායු සමීකරණ මිලදී ගැනීමට පැමිණි පිරිස් අතර ඇතැම් ස්ථානවල ගැටුම් පවා හටගෙන තිබේ.
මීට පෙර වායු සමීකරණ යන්ත්‍ර අනවශ්‍ය යැයි සැලකූ ප්‍රදේශවල පවා මේ වන විට ඒවායේ දැඩි හිඟයක් නිර්මාණය වී ඇති අතර, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට වෙළෙඳ ආයතන අපහසුතාවයට පත්ව ඇත. නිවෙස් තුළ රැඳී සිටීම පවා අපහසු තරමට උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, මෙම උපකරණ මිලදී ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බව බොහෝ පාරිභෝගිකයින් පවසයි.
















