ප්‍රංශයේ පැරිස් නුවරට නුදුරු ඓතිහාසික ෆොන්ටේන්බ්ලෝ (Fontainebleau) වනාන්තරයේ හටගත් දැවැන්ත ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා එරට ගිනි නිවන භටයින් 900කට අධික පිරිසක් අඛණ්ඩව සටන් වදිමින් සිටිති. මෙම ගින්න හිතාමතා සහ නොසැලකිලිමත් ලෙස ඇති කිරීම සම්බන්ධයෙන් 2007 වසරේ උපන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු ස්වේච්ඡා ගිනි නිවන භටයෙකු බව ප්‍රංශ බලධාරීන් තහවුරු කරයි. ඔහු පෙට්‍රල් සහ ලයිටරයක් ආධාරයෙන් ගින්න තැබූ බවට පිළිගෙන ඇති අතර, අනෙක් සැකකරු සිගරට් කොටයක් දැමීමෙන් නොසැලකිලිමත් ලෙස ගින්න හටගත් බව පිළිගෙන තිබේ.
ප්‍රංශයේ ප්‍රකට රාජකීය මාළිගාවකට නුදුරින් පිහිටි මෙම වනාන්තරයේ හටගත් ගින්න මේ වන විට හෙක්ටයාර 2,000කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇත. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් (Laurent Nunez) මහතා ප්‍රකාශ කළේ, පවතින දැඩි නියඟය හේතුවෙන් මේ වසරේ ප්‍රංශය පුරා ලැව්ගිනිවලින් හෙක්ටයාර 32,000ක් පමණ විනාශ වී ඇති අතර, මෙය ඉතිහාසයේ වාර්තාගත වසරක් වනු ඇති බවයි. ගින්න හේතුවෙන් ප්‍රදේශවාසීන් 900ක් පමණ ඉවත් කර ඇති අතර, පැරිස් සහ ලියොන් නගර යා කරන ප්‍රධාන මහාමාර්ග සහ අධිවේගී දුම්රිය සේවා ද අත්හිටුවීමට සිදුවිය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















