දැනට ක්‍රියාත්මක වන QR කේතය මත පදනම් වූ ඉන්ධන කෝටා ක්‍රමය සහ ඉන්ධන ළඟ තබා ගැනීම අපරාධයක් ලෙස සැලකීම මඟින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මෙම සීමිත ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය කිසිදු නිල නීතිමය ව්‍යුහයක් හෝ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද අත්තනෝමතික ක්‍රියාවක් බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් එහි සඳහන් වේ.
වාහන අංකයේ අවසාන ඉලක්කම මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම සහ වාහන වර්ග මත සීමා පැනවීම හේතුවෙන් දීර්ඝ ගමන්වල යෙදෙන ජනතාව මෙන්ම Uber සහ PickMe වැනි සේවා සපයන්නන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව පෙන්වා දී තිබේ.මෝටර් වාහන නොවන එහෙත් ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන උපකරණ (විදුලි ජනන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර ආදිය) භාවිතා කරන පුද්ගලයින්ට ඉන්ධන ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවනෝපායට බාධා එල්ල වී ඇත. තණකොළ කපන යන්ත්‍රයක් සඳහා පෙට්‍රල් ළඟ තබා ගත් පුද්ගලයෙකුට සිර දඬුවම් නියම වීම වැනි සිදුවීම් හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පැමිණිලිකරු පවසයි.මෙම ඉන්ධන කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා නිර්දේශ නිකුත් කරන ලෙසත්, අදාළ ක්‍රියාවලිය නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, ICTA සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ පොලිස්පතිවරයා නම් කර තිබේ.














