කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ සහ විශේෂඥයන්ගේ මතයන්ට පටහැණිව අසත්‍ය සහ නොමඟ යවන සුලු ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මියගිය නිලධාරියාගේ බිරිය විසින් මරණය සැක සහිත බවට පොලීසියට පැමිණිලි කර ඇති බවට උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම්විරහිත සහ අසත්‍ය එකක් බව පොලීසිය අවධාරණය කරයි. එමෙන්ම විමර්ශන කටයුතු සඳහා සිම්පත් සහ තවත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
නීතිය පිළිබඳ අවබෝධයක් ඇති අයකු මෙලෙස සමාජය නොමඟ යවන සුලු ප්‍රකාශ සිදු කිරීම බරපතළ තත්ත්වයක් බවත්, මෙම පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීමට ඉදිරියේදී උදය ගම්මන්පිල මහතාට සිදුවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.














