මහනුවර, ගලගෙදර, කහන්පිටිවල ප්‍රදේශයේ පිහිටි හිටපු දේශපාලනඥයකුගේ ඥාති සහෝදරයෙකුට අයත්ව තිබී පසුව විකුණන ලද පැරණි බංගලාවක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබියදී, කොන්ක්‍රීට් දමා වසා තිබූ වළක සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන සජීවී උණ්ඩ 3,711ක් සොයාගත් බව ගලගෙදර පොලිසිය පවසයි.
අදාළ බංගලාව මීට වසර හතරකට පමණ පෙර ගුවන් නියමුවෙකුට විකුණා තිබූ අතර, එහි සිදු කෙරුණු ප්‍රතිසංස්කරණ අතරතුර මෙම උණ්ඩ තොගය හමුවී තිබේ. එහි මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 2,310ක්, එම්-16 උණ්ඩ 411ක්, ටී-56 උණ්ඩ 409ක්, රිවෝල්වර උණ්ඩ 384ක් සහ MPMG මැෂින් තුවක්කු උණ්ඩ 167ක් ඇතුළු විවිධ උණ්ඩ වර්ග සහ උණ්ඩ රඳවන ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















