ලෝක උරුමයක් වන ගාල්ල නගරය සංස්කෘතික සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන් සමඟ පසුගියදා (10) ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත විය.
විධිමත් නගර සැලැස්මක අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, ගාල්ල කොටුව ආශ්‍රිතව පවතින පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බන්ධනාගාරය සහ හෙද පුහුණු පාසල වැනි රාජ්‍ය ආයතන කොටුවෙන් පිටත වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දුන්නේය. එමගින් ගාලු කොටුව සහ අවට මුහුදු තීරය සංචාරක ආකර්ෂණය දිනා ගන්නා කලාපයක් ලෙස සංවර්ධනය කිරීම ඔහුගේ අපේක්ෂාවයි.
මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් අංගයක් ලෙස ගාල්ල නගරයේ විසිරී පවතින සියලුම රජයේ කාර්යාල එක් පරිපාලන ගොඩනැඟිල්ලකට ගෙන ඒම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එමගින් මහජනතාවට වඩා පහසුවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
මෙම සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී සහ යටිතල පහසුකම් ගොඩනැඟීමේදී සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන වගකීම පිළිබඳවද කරුණු පැහැදිලි කළේය. එසේම, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ආයෝජන ගෙන්වා ගැනීම සහ ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
















