2022 ආර්ථික අර්බුදය පැවැති සමයේ ගාලු කොටුව අසල නීතිඥවරුන් පිරිසක් විසින් පවත්වන ලද සාමකාමී විරෝධතාවයකට පොලිසිය විසින් බාධා කර පුවරු ඉරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, ගාල්ල ප්‍රදේශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිඥවරුන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන් වන අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ යන මහත්වරුන් විසින් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පවසමිනි. අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් විජයරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගන්නා ලදී. එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ගාල්ල ප්‍රදේශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජී. වෙදසිංහ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගාල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළේ, තම සේවාදායකයින් පෙත්සම්කරුවන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදින බවයි. මේ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ද ඉදිරිපත් කරන බව ඇය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියාය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තම සේවාදායකයින් මෙම සමාව අයැදීම පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන් අතර, එහිදී අගවිනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නීතිඥවරුන් මෙම සමථයට එකඟ වීම අගය කළ යුතු බවත් මෙවැනි සහනයන් පහසුවෙන් නොලැබෙන බවත්ය. ඒ අනුව අදාළ සමථය නිල වශයෙන් වාර්තා කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට තීරණය කළේය.














