රාජ්‍ය සේවය තුළ දිගුකාලීනව පවතින වැටුප් විෂමතා සහ ඒ ආශ්‍රිත ගැටලුවලට ස්ථිර විසඳුම් සෙවීම සඳහා වන විශේෂ වැටුප් කොමිෂන් සභාව ලබන සතියේදී පිහිටුවීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා සුදුසු පුද්ගලයන්ගේ නාම යෝජනා මේ වන විටත් ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම නව කොමිෂන් සභාව හරහා වසර ගණනාවක සිට නොවිසඳී පවතින රාජ්‍ය සේවක වැටුප් විෂමතා, වැටුප් සම්බන්ධ වෙනත් ගැටලු මෙන්ම විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවයන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් විසඳුම් සෙවීමට නියමිතය. පවතින වැටුප් ගැටලු සහ දුක්ගැනවිලි පිළිබඳව නිවැරදි තොරතුරු රැස්කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල මෙන්ම වෘත්තීය සමිතිවල නියෝජිතයන් කැඳවා සාකච්ඡා කිරීමට ද මෙම කොමිෂන් සභාවට පූර්ණ බලතල පැවරෙනු ඇත. මෙම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීම, ජනාධිපතිවරයා විසින් පසුගිය ජාතික අයවැය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඉටුකිරීමක් ද වේ.














