ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර නොහොත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නමැත්තාගේ නිවස පරීක්ෂා කිරීමේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ රතු නිවේදනය (Red Notice) ඇතුළු වැදගත් ලේඛන රැසක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අධිකරණයට දැනුම් දුන්නේය. මෙම නඩුකරය ඊයේ (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පොලිසිය මේ බව සඳහන් කළේය.
සෝදිසි වරෙන්තුවක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඝාතනයට ලක්වූ ගනේමුල්ල සංජීවගේ පැරණි හා වත්මන් නඩු විස්තර, ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් සහ දුරකථන අංක ඇතුළත් ලේඛනයක් ද හමුවී ඇත. මේ හරහා සැකකරු ගනේමුල්ල සංජීවගේ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවදියෙන් සිට ඇති බව පැහැදිලි වන බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය. මීට අමතරව ඔහුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනිඅවියක් ද සොයාගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය ද තවදුරටත් දින 30ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි.
මෙහිදී සැකකාර ඔස්මන්ඩ් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා චෝදනා කළේ රඳවාගෙන සිටින සිය සේවාදායකයා හමුවීමට පොලිසිය අවසර නොදුන් බවයි. එම චෝදනාව CCD නිලධාරීන් ප්‍රතික්ෂේප කළ අතර, මේ පිළිබඳව විමසීම සඳහා මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය. ඒ අනුව පැමිණිල්ල ලබන 26 වැනිදා නැවත කැඳවීමට නියමිතය.














