පසුගිය දවස් කිහිපය පුරාම සමාජ මාධ්‍ය කළඹමින් හැමෝගෙම අවධානය දිනාගත් අමුතුම කතාවක් වූයේ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්, පාරේ ගමන් කළ ඇත්ගොව් බාසුන්නැහේ කෙනෙකුගේ ඉනේ තිබූ පාරම්පරික සුවිශේෂී පිහිය පරීක්ෂා කර තාවකාලිකව භාරයට ගැනීමයි. “පිහිය ඕන නම් අලියාව එක්කන් එන්න” කියා නිලධාරීන් පැවසූ විට, තමන්ගේ හස්තියා කැටුව පොලීසිය ඉදිරියටම ඇවිත් පිහිය ආපසු ලබාගත් ඒ සුන්දර බැඳීම පිටුපස සිටියේ අපේ ආදරණීය “ගනේතැන්නේ සුදු මැණිකේ” සහ ඇයගේ භාරකරුයි.
මාවනැල්ලේ පාරම්පරික ශිල්පීන් ලවා මකර සහ නාග පෙණ කැටයමින් නිමවූ, රුපියල් 8,000කට වැඩි වටිනාකමකින් යුතු ඒ සුවිශේෂී පිහිය ආයුධයකට වඩා සතාගේ නඩත්තුවට, නියපොතු පිරිසිදු කිරීමට සහ ආහාර කපාදීමට භාවිත වන වෘත්තීය මෙවලමක් බවත්, ඒ බැඳීම පිටුපස සුවිශේෂී පාරම්පරික ශිල්පීය උරුමයක් පවතින බවත් මුළු රටම දැනගත්තේ ඒ සංසිද්ධියෙනුයි.
මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සියලු රාජකාරි අතිඋත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වීමත් සමඟ, මුළු නුවරම කලඹලා හැමෝගෙම ආදරය නොමඳව දිනාගත් ගනේතැන්නේ සුදු මැණිකේ තම ගම්බිම් බලා පිටත්ව ගියා. පිටත්ව යන්නට පෙර අවට සිටි සැදැහැවතුන් සහ ජනතාව දෙසට තම හොඬවැල ඔසවා කෘතඥපූර්වකව ගෞරවාචාර දැක්වූ සුදු මැණිකේ, අනතුරුව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින උතුම් දළදා මාළිගාවේ දොරකඩ අභියසට පැමිණ, බිම දණින් වැටී තම හොඬවැල ඔසවා දළදා සමිඳුන් උදෙසා උතුම් වන්දනාවේ යෙදෙමින් ආශිර්වාද ලබාගත්තේ මුළු මහත් නුවර පුරවරයම එකසේ භක්තිමත් කරමින්.
සතුන් සහ මිනිසුන් අතර පවතින ආදරය, භක්තිය සහ ගෞරවය වචනවලට පෙරළිය නොහැකි තරම් ගැඹුරු බව පසක් කළ ඒ මොහොත, දැකබලා ගත් සියලු දෙනාගේ නෙතට කඳුළක් එක් කළේ හදවතේ ගැඹුරුම තැන සංවේදී කරමින්.














