උඩිස්පත්තුව, හක්මන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ඇඟළුම් සේවිකාවක් අභිරහස් ලෙස ඝාතනය කර නිවසට ආසන්න වගුරු බිමක වල දමා තිබියදී අද (ජූනි 02) අධිකරණ නියෝග මත ගොඩගනු ලැබීය. රංගල පොලීසියට ලද තොරතුරක් මත මෙම සිරුර සොයාගෙන ඇත.
මියගිය තරුණිය වීරසේකර මුදියන්සේලාගේ හීංපිටගෙදර වාසනා සඳමාලි නම් වේ. රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම මළ සිරුර ගොඩගැනීම සිදුකරන ලදී. තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වා, පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණී උපුලී බණ්ඩාර මහත්මිය ලවා සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග කළේය. මියගිය තරුණිය හක්මන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරයි. සැකකරු මේ වන විට ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර, සැකකරුගේ මවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හරහා පොලීසියට මෙම තොරතුරු අනාවරණය වී ඇත.















