අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (ජූනි 02) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ළමුන් සම්බන්ධ නීති, ළමා සහ යෞවන ආඥා පනත සහ එම නඩු කඩිනම් කිරීම පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනවලට අනුව දරුවන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සහ එම ක්‍රියාවලිය ගැන විනිසුරුවරුන් දැනුවත් කිරීම පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. මේ වන විට මහනුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමේ කාමර පහසුකම් අනෙකුත් අධිකරණවලට ද ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කෙරිණි. ළමුන් සම්බන්ධ නීති පිළිබඳව විනිසුරු පුහුණු ආයතනය දැනුවත් කිරීමේ සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාවට එම නීති ඇතුළත් කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නඩු ප්‍රමාදයට හේතුවී ඇති අධිකරණ පද්ධතියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා UNICEF විධායක මණ්ඩලයේ උප සභාපතිවරුන් වන Sophia Tesfamariam, Anna Jóhannsdóttir, Alejandra Heandez Gonzalez, Claudio Silvio Nardi ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
















