නේටෝ (NATO) සංවිධානයේ ආරක්ෂක ඉලක්ක සපුරා ගැනීම සඳහා ජර්මනිය සිය රටේ වයස අවුරුදු 18 සපුරන සියලුම තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් දියත් කළ විශේෂ හමුදා බඳවා ගැනීමේ මෙහෙයුම බරපතළ පසුබෑමකට ලක්ව තිබේ. ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳෙන ලෙස ඉල්ලමින් ජර්මන් රජය රට පුරා සිටින 18 හැවිරිදි තරුණයන් 298,200 දෙනෙකුට ලිපි තැපැල් කර ඇති අතර, එයින් අවසාන වශයෙන් හමුදාවට බැඳී ඇත්තේ 530 දෙනෙකු පමණි. එය ප්‍රතිශතයක් ලෙස 0.18% කි.
ලිපි ලැබුණු පිරිසෙන් 25%ක් මුලින් උනන්දුවක් දැක්වුවද, පසුව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමේදී එම උනන්දුව 12.5% දක්වා අඩුවී ඇත. ඉන් පසුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වූ පිරිසෙන් ස්ථිර රැකියා දීමනා ලබාගෙන ඇත්තේ මෙම 530 දෙනා පමණි. නේටෝ ඉලක්ක සපුරාලීම සඳහා ජර්මනිය සිය ක්‍රියාකාරී හමුදා බලඇණිය 186,000 සිට 260,000 දක්වා ඉහළ නැංවිය යුතු අතර, ස්වේච්ඡාවෙන් තරුණයන් නොපැමිණියහොත් “අනිවාර්ය හමුදා සේවයක්” (Conscription) කරා යාමට සිදුවන බව ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් අනතුරු අඟවා තිබේ. ඒ අනුව 2027 ජූලි මාසයේ සිට වයස අවුරුදු 18 පිරෙන සියලුම පිරිමි ළමුන් හමුදා ලියාපදිංචිය අනිවාර්ය කිරීමට ද ජර්මනිය සැලසුම් කර ඇත.
















