ජාත්යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ, සිව්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමට සූදානම් වන අතර, ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහාය හිමිවීමත් සමඟ ඔහුගේ යළි තේරී පත්වීමේ අපේක්ෂා ශක්තිමත් වී තිබේ.
AFC සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්රාහිම් අල් කලීෆා පසුගියදා ටෝකියෝ නුවර පැවති සම්මේලන රැස්වීමකදී ඉන්ෆැන්ටිනෝට සහාය පළ කළේය. මීට පෙර FIFA හි වාණිජ අයිතිවාසිකම් සම්බන්ධ පෞද්ගලික ආයෝජන යෝජනාවක් පිළිබඳ විවේචන ඉදිරිපත් කළ AFC, මෙවර ඔහුට සහාය දැක්වීම විශේෂත්වයකි.
FIFA Forward Enterprise (FFE) ලෙස හැඳින්වූ එම යෝජනාව, FIFA තරගාවලිවල වාණිජ අයිතිවාසිකම් සම්බන්ධ නව ආයතනයකට පෞද්ගලික ආයෝජන ලබාගැනීම අරමුණු කර තිබුණි. විවේචන හමුවේ එය අත්හැර දැමීමෙන් පසු ඉන්ෆැන්ටිනෝට ඉල්ලා අස්වන ලෙස ද ඉල්ලීම් එල්ල විය.
කෙසේ වෙතත්, ඉල්ලා අස්වීම ගැන සලකා බැලුවේදැයි BBC කළ විමසීමකදී ඉන්ෆැන්ටිනෝ එම අදහස ප්රතික්ෂේප කරමින්, FIFA සාමාජික සම්මේලනවලින් ලැබෙන සහාය පිළිබඳව අවධාරණය කළේය. ලෝකයේ සාමාජික සම්මේලන 211ටම ඡන්ද බලය ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඉන්ෆැන්ටිනෝ 2031 දක්වා ධුර කාලයක් අපේක්ෂා කරමින් යළි තරග කිරීමට සූදානම් වන අතර, වෙනත් අපේක්ෂකයන්ට නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් 18 දක්වා කාලය පවතී. අවසන් තීරණය FIFA සාමාජික සම්මේලනවල ඡන්දයෙන් තීරණය වනු ඇත.
















