ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) Global EV Outlook 2026 වාර්තාවට අනුව, වත්මන් ප්‍රතිපත්ති අනුව කටයුතු කළහොත් 2035 වන විට රෝද දෙකේ සහ තුනේ වාහන හැර ලොව පුරා විද්‍යුත් වාහන සංඛ්‍යාව මිලියන 450 ඉක්මවිය හැකිය. එය 2025 අවසානයේ පැවති සංඛ්‍යාවට වඩා පස් ගුණයකට වැඩි වීමකි.
IEA අනුව 2025දී විද්‍යුත් වාහන හේතුවෙන් ලොව පුරා දිනකට තෙල් බැරල් මිලියන 1.7ක් පමණ භාවිතයෙන් ඉවත් වී තිබේ. වත්මන් ප්‍රතිපත්ති අනුව 2030 වන විට එය දිනකට බැරල් මිලියන 5ක් පමණ දක්වාත්, 2035 වන විට බැරල් මිලියන 9ක් පමණ දක්වාත් ඉහළ යා හැකිය. වඩා වේගවත් විද්යුත්කරණයක් සිදුවන අවස්ථාවකදී 2035දී එම ප්‍රමාණය බැරල් මිලියන 15කට වැඩි විය හැකිය.
මේ අතර, 2025දී විද්‍යුත් වාහන සඳහා ලොව පුරා TWh 250කට ආසන්න විදුලි ප්‍රමාණයක් භාවිත වී ඇති අතර, වත්මන් ප්‍රතිපත්ති අනුව 2035 වන විට එම විදුලි ඉල්ලුම TWh 1,500 ඉක්මවිය හැකි බව IEA පවසයි. ඒ අනුව විද්‍යුත් වාහන ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟ පෙට්‍රල් සහ ඩීසල් සඳහා වන ඉල්ලුමට සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි නමුත්, 2035 වන විට ඒවා සම්පූර්ණයෙන්ම අහෝසි වන බවක් IEA පුරෝකථනය නොකරයි.
















