පවතින පීඩාකාරී බදු ප්‍රතිපත්තිය සහ දැඩි ආර්ථික පීඩනය හමුවේ මෙරට විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2,500කට අධික සංඛ්‍යාවක් 2021 සහ 2022 වර්ෂවලින් පසු දිවයිත අත්හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. ව්‍යාපාරිකයන්ගේ ලාභය මත පමණක් බදු අය කරන පසුබිමක, සේවා නියුක්තිකයන්ගේ සමස්ත වැටුප මත සෘජු හා වක්‍ර බදු පැටවීම අතිශයින් අසාධාරණ බව පෙන්වා දෙන එම සංගමය, තම වැටුපෙන් 36%කට ආසන්න ප්‍රතිශතයක් බදු ලෙස ගෙවීමට වෘත්තිකයන්ට සිදුව ඇති බව අවධාරණය කරයි.
මෙම අර්බුදය හුදෙක් වෘත්තීය සමභාර අයිතීන් ඉක්මවා ගිය, රටේ සෞඛ්‍ය සේවයේ අනාගතයට මෙන්ම ජාතික ආරක්ෂාවට සහ සංවර්ධනයට සෘජුවම බලපාන තීරණාත්මක මානව සම්පත් අහිමිවීමක් බවට පත්ව තිබේ. ඉතිහාසයේ දුෂ්කරම ආර්ථික අර්බුදකාරී සමයේ පටි තද කරගනිමින් රට වෙනුවෙන් තම වගකීම ඉටු කළ වෘත්තිකයන්ට මෙලෙස අඛණ්ඩව බර පැටවීම හේතුවෙන්, මෙරට වටිනාම බුද්ධිමය ශ්‍රමය දිනෙන් දින සිඳී යමින් පවතින බව පෙනෙන්නට තිබේ. පසුගිය කාලය තුළ බදු ආදායම් ඉලක්ක අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ ගොස් තිබියදීත්, වෘත්තිකයන් සුරකින සාධාරණ බදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වීම මතභේදයට තුඩු දී ඇත.
රටේ වටිනාම මානව සම්පත රැකගනිමින් ඉදිරි අයවැය මඟින් සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් වහා හඳුන්වා නොදුනහොත්, ශ්‍රී ලංකාව බරපතල බුද්ධිමතුන්ගේ හිඟයකට මුහුණ දෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව අනතුරු අඟවයි. අනාගත දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා මෙරට වෘත්තිකයන්ට මෙරට තුළම රැඳී සිටීමට සුදුසු වාතාවරණයක් සකස් කිරීම රාජ්‍ය මට්ටමේ ප්‍රමුඛතා අතරට ගත යුතුව ඇත. එසේ නොමැති වුවහොත්, අඛණ්ඩව සිදුවන මෙම වෛද්‍යවරුන්ගේ පිටවයාම මෙරට සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් කඩා වැටීමටත්, ජාතික මට්ටමේ බරපතල වෘත්තීය අර්බුදයකටත් සෘජුවම මඟ පාදනු ඇත.
















