වත්මන් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ජනතා හිතවාදී සහ කාර්යක්ෂම වෘත්තීය පොලිස් සේවාවක් මෙන්ම වෘත්තීයමය නිලධාරියෙකු නිර්මාණය කිරීමට සමත්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. 85 වන පොලිස් මලල ක්‍රීඩා උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, එහිදී රාජ්‍ය සේවයේ සහ විශේෂයෙන්ම ආරක්ෂක අංශවල වටිනාකම ඉහළ නංවන වැදගත් සුබසාධන සහ සංවර්ධන ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක වන බවට නිල වශයෙන් අනාවරණය කරනු ලැබීය.
දිවා රෑ නොබලා රටේ නීතිය හා සාමය රැකීම වෙනුවෙන් කැප වන පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය අභිමානය ආරක්ෂා කිරීමේ අරමුණින්, නව දීමනා ක්‍රමයක් හඳුන්වා දීමටත්, ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම සඳහා විද්‍යුත් යතුරුපැදි ලබා දීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මීට අමතරව, ජාත්‍යන්තර මට්ටමේ නවීන තාක්ෂණය සහ අත්දැකීම් පොලිස් සේවයට දායාද කිරීමේ අරමුණින් නිලධාරීන් සඳහා විශේෂ විදේශ පුහුණු අවස්ථා පුළුල් කිරීමට ද කටයුතු යොදා ඇති අතර, මෙමඟින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද මෙරට ආරක්ෂක අංශවල සුබසාධනය නංවාලීම සඳහා රජය ගෙන යන මෙම ප්රගතිශීලී පියවර මඟින්, රාජ්‍ය සේවකයන්ගේ කැපවීම අගයමින් ඔවුන්ගේ වෘත්තීය තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට මඟපෙන්වනු ඇත. ඉදිරියේදී ක්‍රියාත්මක වන මෙම සංවර්ධන වැඩසටහන් හරහා ජනතාවට වඩාත් ගුණාත්මක හා විශ්වාසනීය පොලිස් සේවාවක් ලබා දීමට මෙන්ම රටේ අභ්‍යන්තර ආරක්ෂාව තවදුරටත් ස්ථාවර කර ගැනීමට ශක්තිමත් පදනමක් වැටෙනු ඇත.
















