ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය නංවාලීම සහ දකුණු පළාතේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA) සඳහා ආයෝජනය කිරීමට සුදුසු දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් කැමැත්ත විමසීමේ (EOIs) ක්‍රියාවලියක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. මෙම සුවිශේෂී ආයෝජන අවස්ථාව සඳහා පහසුකම් සපයන්නා ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) කටයුතු කරනු ලබයි.
මෙහිදී ගුවන් තොටුපොළ මෙහෙයුම් සහ භූමි මෙහෙයුම් යන අංශ දෙක යටතේම ආයෝජන යෝජනා කැඳවා ඇති අතර, භාණ්ඩ ප්‍රවාහන සේවා (Cargo), සැපයුම් දාම කළමනාකරණය (Logistics), ගුවන් යානා නඩත්තු කිරීම් (MRO), ගුවන් යානා උපාංග නිෂ්පාදනය, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ සංචාරක හෝටල් වැනි පුළුල් පරාසයක ව්‍යාපාරික අවස්ථා මේ යටතේ විවෘත වේ. ආයෝජකයින් සඳහා හවුල් ව්‍යාපාර (Joint Ventures) හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPP) වැනි නම්‍යශීලී ආයෝජන මොඩලයන් ද හඳුන්වා දී ඇත.
හම්බන්තොට වරායට සහ ප්‍රධාන ජාත්‍යන්තර නාවික මාර්ගවලට ඇති සමීපත්වය හරහා ගොඩබිම, මුහුද සහ ගුවන යා කරන ඒකාබද්ධ සබඳතාවක් ගොඩනැගීමට ඇති හැකියාව මෙහිදී ආයෝජකයින් වෙත අවධාරණය කෙරේ. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට 2026 ජුනි 08 වනදා දක්වා අදාළ ලේඛන ලබාගත හැකි අතර, මත්තල ගුවන් තොටුපොළ නිරීක්ෂණ චාරිකාව මැයි 22 වනදාට නියමිතය.
















