මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම ගෝලීය මෙන්ම දේශීය වශයෙන් පවතින බරපතළ ව්‍යසනයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, එයින් අනාගත පරපුර ගලවා ගැනීම සඳහා වත්මන් රජය සැබෑ සහ යථාර්ථවාදී වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. අද (26) පැවති ජාතික මත් විරෝධී පාගමන සහ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පෙර රජයන් විසින් සිදුකරන ලද මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් මෙන් වත්මන් රජයේ මෙහෙයුම් හුදෙක් රංගනයක් නොවන බව අමාත්‍යවරයා දැඩිව පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ භාවිතයට එරෙහිව දියත් කර ඇති මෙම සංවිධානාත්මක මෙහෙයුම් අනාගතයේදී කිසිදු අභියෝගයක් හමුවේ ආපසු හැරවීමට සූදානම් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සමාජයක් වශයෙන් මෙම ව්‍යසනය තුළ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බවත්, එයින් රට මුදවා ගැනීම සඳහා අතිශය තීරණාත්මක කාර්යභාරයක් වත්මන් රජය විසින් ඉටු කරමින් පවතින බවත් අමාත්‍ය විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.
















