දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී පැවැති ග්‍රාම නිලධාරී වෘත්තීය ගැටලුවලට එළැඹෙන අය-වැය මඟින් ස්ථිර විසඳුම් ලබාදීමට රජය ලබා දුන් සහතිකයත් සමඟ, පසුගිය අගෝස්තු 10 වැනිදා සිට ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹී තිබේ. මෙම සාකච්ඡාව අතරතුරදී ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ ඍජුව සම්බන්ධ වී ඇති අතර, පාර්ලිමේන්තුවේදී මීට පෙර ලබාදුන් පොරොන්දුව පරිදිම ඉදිරි අය-වැය යෝජනා මඟින් ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට කටයුතු කරන බවට සහතික වී ඇත.
මහජනතාවට බාධාවකින් තොර සේවයක් ලබා දීම වෙනුවෙන් රජය ගත් මෙම තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ස්තූතිය පළ කර ඇති අතර, ඉදිරියේදී මහජනතාව හෝ සේවාලාභීන් අපහසුතාවට පත්වන කිසිදු ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොකරන බවද තහවුරු කළේය.














