අභියෝගාත්මක බාහිර වටපිටාවක් මධ්‍යයේ වුවද මෙරට ආර්ථිකය ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වේ.
මේ වසරේ (2026) දෙවැනි කාර්තුව වන විට මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 5.1% ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, වසර අවසානයේදී එය 4% සිට 5% දක්වා පරාසයක පවතිනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇත. මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම සහ බලශක්ති මෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා දෙවැනි කාර්තුවේදී උද්ධමනය 5.9% ක් ලෙස වාර්තා වී තිබේ.
පවතින උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් පසුගිය මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% දක්වා ඉහළ නංවන ලද අතර, ජූලි මාසයේ පැවති සමාලෝචනයේදී එම පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කෙරිණි. විදේශීය අංශය අභියෝගවලට මුහුණ දී තිබුණද, ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ පෞද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රසරණය වීම හරහා ආර්ථිකයේ ස්ථාවරත්වය ඉදිරියටත් පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.














