ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන අවස්ථා හඳුනාගැනීමට සහ අනාගත වෘත්තීය මාර්ගය තෝරාගැනීමට සහාය වන ජාතික TVET මාර්ගෝපදේශන වේදිකාව වන ‘GuideMe’ ජංගම යෙදුම, කාම්බෝජයේ පැවති GIZ ආසියා පැසිෆික් ඩිජිටල් සංවර්ධනය සඳහා (D4D) සංසදයේදී ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ.
ඉන්දියාව, පකිස්තානය, කාම්බෝජය සහ වියට්නාමය ඇතුළු රටවලින් ඉදිරිපත් වූ ජාත්‍යන්තර ඩිජිටල් නවෝත්පාදන 27ක් අභිබවා ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයකි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), GIZ-VTSL ව්‍යාපෘතියේ සහාය ඇතිව මෙම යෙදුම සංවර්ධනය කර ඇත.
දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ‘GuideMe’ හරහා NVQ සහ කුසලතා සංවර්ධන වැඩසටහන් 9,800කට අධික සංඛ්‍යාවක් සහ ආයතන 2,500කට අධික සංඛ්‍යාවක තොරතුරු ලබාගත හැකි අතර, එහි ඇති ‘Savi’ AI වෘත්තීය මාර්ගෝපදේශකයා හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පරිශීලකයන්ට ගැළපෙන වෘත්තීය මාර්ග සහ පාඨමාලා තෝරාගත හැක. එසේම, අන්තර්ජාල සම්බන්ධතාවයකින් තොරව භාවිත කළ හැකි 3D, AR සහ VR තාක්ෂණය යොදාගත් අධ්‍යයන මොඩියුල 4,200කට අධික සංඛ්‍යාවක්ද මෙහි අන්තර්ගත වේ.














