නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකරන ලද ලවණ බාධකය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වන්දි ලබාදීමේ කටයුතු රජය විසින් කඩිනම් කර තිබේ. 2019 වර්ෂයේ සිට පවතින මෙම ගැටලුව සඳහා විසඳුම් ලෙස 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය මුසු වීම වැළැක්වීමට 2019දී ඉදිකළ මෙම බාධකය නිසා දික්වැල්ල, කඹුරුපිටිය, මාලිම්බඩ, විල්පිට ඇතුළු ප්‍රදේශ රැසක වී වගා බිම් නිරන්තරයෙන් ජලයෙන් යටවීම හා හානියට පත්වීම සිදු විය.
ගොවීන්ට සිදු වූ අසාධාරණය සලකා බලා 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7ක් සඳහා වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත.
මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කෘෂිකාර්මික නිලධාරීන් සහ ගොවි නියෝජිතයින්ගේ නිර්දේශ මත, අදාළ කාලසීමාවන්හිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත හානි වාර්තා කර ඇති සියලුම ගොවීන් සඳහා මෙම වන්දි මුදල් පිරිනැමෙනු ඇත.














