අනුරාධපුර තිසා වැවේ මඩ සොරොව්වේ දොරටු හදිසියේ ක්‍රියාවිරහිත වීම හේතුවෙන් යල කන්නයේ ගොවිතැනට එල්ල වී තිබූ බාධාව ඉවත් කිරීමට අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.
තිසා වැව ගොවි ව්‍යාපාරය යටතේ මේ දිනවල මුර ක්‍රමයට ජලය නිකුත් කෙරෙන අතර, පසුගිය 06 වනදා මඩ සොරොව්වේ ගේට්ටු හදිසියේම අක්‍රිය විය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කිමිදුම්කරුවන්, අඩි 19ක් ගැඹුරු දිය යටට කිමිදී අතිශය දුෂ්කර මෙහෙයුමකින් පසු එම දොරටු පිළිසකර කර ජලය නිකුත් කිරීමට කටයුතු කළහ.
මෙම සුවිශේෂී මෙහෙයුම අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ උපදෙස් මත, ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර උළුවත්ත මහතාගේ මෙහෙයවීමෙන් සිදු විය. පොලිස් නිලධාරීන්ගේ මෙම කැපවීම හේතුවෙන් අනතුරේ තිබූ යල කන්නයේ වී ගොවිතැන යළි සුරක්ෂිත කර ගැනීමට ගොවීන්ට හැකි වී තිබේ.














