බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේ පසුගිය සමයේ සිදුවූ දරුණු නායයාම් හේතුවෙන් නිවාස අහිමි වී වසර තුනහමාරකට ආසන්න කාලයක් අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ වසා දමන ලද තේ කර්මාන්ත ශාලාවක දිවි ගෙවූ මලයගම් ප්‍රජාව වෙනුවෙන් ඉදිකළ කබරගල නවෝදයාපුරම් නව නිවාස ව්‍යාපෘතිය ලබන 28 වනදාට පෙර නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද ‘මලෛයග මහිල්ච්චි’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා පවුල් 50කට අධික සංඛ්‍යාවකට සිය දිවි පෙවෙත යළි ගොඩනඟා ගැනීමට අවශ්‍ය ස්ථිර සහ ආරක්ෂිත වාසස්ථාන හිමිවීම මෙරට සමාජ සුභසාධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.
එක් පවුලක් සඳහා පර්චස් 10ක ඉඩම් ඔප්පුවක් සමඟ වර්ග අඩි 550කින් සමන්විත අංගසම්පූර්ණ නිවසක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර ඇති අතර, එක් නිවාස ඒකකයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 32ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කර තිබීම විශේෂත්වයකි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සෘජු මඟපෙන්වීම යටතේ යුද හමුදා ඉංජිනේරු සේවා බලකාය සහ අදාළ රාජ්‍ය ආයතන එකතුවී ඉටුකළ කැපී පෙනෙන ශ්‍රම දායකත්වය මත මෙම දැවැන්ත ජනතා සුභසාධන ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ සාර්ථකව අවසන් කර ගැනීමට හැකි විය. වසර ගණනාවක් පුරා අවතැන්ව අන්ත අසරණව සිටි මෙම පවුල්වලට නිවහනක් හිමිවීම හරහා ඔවුන්ගේ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමටත්, පවුලේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කර ගැනීමටත් අවශ්‍ය මූලික මානව හිමිකම් යළි තහවුරු වී ඇත.
ස්වභාවික විපත්වලින් අවතැන් වන ජනතාවට තාවකාලික සහනවලින් ඔබ්බට ගොස් ස්ථිරසාර විසඳුම් ලබාදීමේ රාජ්‍ය යාන්ත්‍රණයේ සඵලතාව මින් මනාව පැහැදිලි වන අතර, ඉදිරියේදී මෙවැනි අසරණ ප්‍රජාවන් නඟාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට මෙය කදිම ආදර්ශයක් වනු ඇත. දිගුකාලීන අරගලයකින් පසු හිමිවූ මෙම නව ජීවයත් සමඟ, කබරගල නවෝදයාපුරම් ජනතාවට තම අනාගතය නව බලාපොරොත්තු සහ ස්ථාවරත්වයක් මත පදනම්ව ගොඩනඟා ගැනීමට අවශ්‍ය මාවත මේ හරහා සම්පූර්ණයෙන්ම විවර වී තිබේ.














