ජිනීවා නුවර පැවැති ගෝලීය කෘතිම බුද්ධි පාලන සමුළුවේදී (Global Dialogue on AI Governance) අදහස් දක්වමින්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ඩොක්ටර් හාන්ස් විජයසූරිය මහතා ලෝකයෙන්ම විශේෂ ඉල්ලීමක් කර තිබේ. එහිදී ඔහු පෙන්වා දුන්නේ, කෘතිම බුද්ධිය (AI) සාර්ථක වීමට නම් එය ලෝකයේ විශාල රටවලට සහ භාෂාවලට පමණක් සීමා නොවී, සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවල සංස්කෘතීන්ට, දේශීය භාෂාවලට සහ ගොවිතැන වැනි දේශීය අවශ්‍යතාවලට ගැලපෙන ලෙස සකස් විය යුතු බවයි. ලංකාවේ ඩිජිටල් පරිවර්තන සැලසුම් යටතේ මෙරට රජයේ සහ පෞද්ගලික අංශයේ වැඩකටයුතු පහසු කිරීම සඳහා සිංහල සහ දෙමළ වැනි භාෂා ද තේරුම් ගත හැකි AI තාක්ෂණික යටිතල පහසුකම් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
















