අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ සංචාරක නෞකාවක පැතිර ගිය හන්ටාවෛරස් රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරයි.
මෙම වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ එක් රෝගියෙකු සහ සැක සහිත රෝගීන් පස් දෙනෙකු පිළිබඳව වාර්තා වී තිබේ. මීට අමතරව, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන 69 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් බලධාරීන් තහවුරු කර ඇත.
හන්ටාවෛරස් සාමාන්‍යයෙන් මීයන් වැනි සතුන්ගේ මුත්‍ර හෝ මළපහ මගින් මිනිසුන්ට බෝ වන අතර, එය දරුණු ශ්වසන රෝග ඇති කිරීමට හේතු වේ. පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙම වෛරසය බෝ වන්නේ ඉතා කලාතුරකිනි.
මෙම රෝගී තත්ත්වය වාර්තා වී ඇත්තේ ‘Oceanwide Expeditions’ සමාගමට අයත් ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් (Cape Verde) බලා ගමන් කරමින් තිබූ MV Hondius නම් නෞකාවේය.
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, පීඩාවට පත් සිය රටේ ජාතිකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බවත්ය.














