වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තු මායිම්වල පිහිටා තිබීම හේතුවෙන් මෙතෙක් කලක් ගොවීන්ට භාවිත කිරීමට නොහැකිව අත්හැර දමා තිබූ වැව් 195ක් සහ අමුණු 17ක් නිදහස් කර කඩිනමින් ගොවි ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂන්මුගම් කුගදාසන් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සතු ඉඩම්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිදහස් නොකිරීම සහ ප්‍රතිපාදන හිඟකම හේතුවෙන් මෙම වැව් ප්‍රතිසංස්කරණය ප්‍රමාද වී තිබූ බවත්, ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එම ගැටලු නිරාකරණය කරමින් වැව් කඩිනමින් සංවර්ධනය කරන බවත් අගමැතිනිය පැවසුවාය.
මීට අමතරව, 1985 වර්ෂයට පෙර රක්ෂිත ප්‍රදේශවල පදිංචිව සිටි ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට හෝ ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදීමේ තිරසර වැඩසටහනක් යාපනය, වවුනියාව, මන්නාරම, මඩකලපුව සහ අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක වේ. මෙමඟින් අදාළ ඉඩම් වී වගාවට සුදුසු පරිදි සකස් කර ජනතාවට භාර දීමෙන් රටේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.














