ගෝලීය වශයෙන් හෝ දේශීය වශයෙන් උද්ගතවන ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ වුවද, රටේ අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කරගැනීම රජයේ ප්‍රධානතම අධිෂ්ඨානය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගාල්ල, දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.
ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද රටේ මානව සම්පත සංවර්ධනය වෙනුවෙන් අයවැය හරහා විශාල මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති බව ඇය පැවසුවාය. පාසල් යනු ගමට සමීප සම්බන්ධතාවක් තිබිය යුතු ස්ථාන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, සම්පත් සීමිත වුවද ප්‍රදේශවාසීන් එක්වී පාසලක් ගොඩනැගීම මුළු රටටම ලබාදෙන ආදර්ශයක් බව පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ දරුවන්ට නවීන තාක්ෂණය සමීප කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ සියලුම ද්විතීයික පාසල් සඳහා අවම වශයෙන් එක ස්මාර්ට් පුවරුවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි. මේ වන විට පාසල් 4,000කට අන්තර්ජාල පහසුකම් ලබාදී ඇති අතර, මෙම වසර අවසානයට පෙර ඉතිරි සියලුම පාසල් වෙත එම පහසුකම් ලබාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. තාක්ෂණය හුදෙක් මෙවලමක් ලෙස භාවිතා කරමින්, ගුරු පුහුණු සහ සම්බන්ධිත පන්තිකාමර වැඩසටහන් හරහා දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ ඉලක්කය බව ද ඇය සඳහන් කළාය.
රටක් ගොඩනැගීම යනු රජය, නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය පමණක් නොව, පුරවැසියන් ද එකම ඉලක්කයකින් කැපවීමෙන් කටයුතු කළ යුතු සාමුහික ප්‍රයත්නයක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
















