ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම රටක් විසින් සිදුකරන වටිනාම ආයෝජනයක් බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව කියා සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වුණු ජාතික අධ්‍යාපන ආයතනයේ 2026 උපාධි ප්‍රදානෝත්සවයේ තෙවන හා අවසන් දිනට (09) ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, වෙනස් වන ලෝකයට ගැළපෙන පරිදි නව පරපුරේ විවේචනාත්මක චින්තනය, ඩිජිටල් දැනුම සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීමට නම් දිගින් දිගටම ඉගෙනීමට හා පර්යේෂණ කිරීමට සූදානම් ගුරු පිරිසක් රටට අවශ්‍ය බව අවධාරණය කළාය. සමාජ විෂමතා අවම කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහිත ක්‍රියාකාරී පුරවැසියන් බිහි කිරීමේ වගකීම ගුරුවරුන් සතු බව පෙන්වා දුන් ඇය, සෑම දරුවෙකුටම සම අවස්ථා ලැබෙන අනාගතයක් නිර්මාණය කිරීම සැමගේම සාමූහික වගකීමක් බවද සඳහන් කළාය.
















