කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ පවතින තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීම සඳහා පත් කර ඇති අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තෙවැනි රැස්වීම අද (09) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව අවස්ථා පුළුල් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ වෘත්තීය අධ්‍යාපනය නවීකරණය කිරීමේ පියවරක් ලෙස මෙම විද්‍යාල 25 සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සිසුන්ට නවීන තාක්ෂණික දැනුම සහ කුසලතා ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙමින් වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම රැස්වීම සඳහා වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















