දක්ෂ කලාකරුවන් මෙන්ම රෝගියාගේ වේදනාව හඳුනන වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීම රජයේ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ සඳහා සෞන්දර්ය අධ්‍යාපනය ඉතා වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත විශේෂිත සෞන්දර්ය පාසලක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
අධ්‍යාපනය යනු විභාග සමත්වීම හෝ සහතිකපත් එකතු කිරීම පමණක් නොව, සමාජය තේරුම්ගෙන යහපත් වෙනසක් ඇති කළ හැකි සංවේදී හා වගකීම්සහගත පුරවැසියන් බිහිකිරීම බවද ඇය ප්‍රකාශ කළා.
සෞන්දර්ය අධ්‍යාපනය තුළින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය මෙන්ම අනෙකාගේ වේදනාව හඳුනාගැනීම සහ විවිධත්වයට ගරු කිරීම වැනි මානවීය ගුණාංගද වර්ධනය වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.
ඩිජිටල් කලාව, නව මාධ්‍ය, චිත්‍රපට, සංගීත තාක්ෂණය සහ නිර්මාණශීලී කර්මාන්ත වැනි නව ක්ෂේත්‍ර ඔස්සේ දරුවන්ට අනාගත ආර්ථික හා වෘත්තීය අවස්ථා සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවද ඇය අවධාරණය කළා.
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාළ වසර 13ක විෂයමාලා රාමුව ඇතුළු කරුණු සඳහා සැප්තැම්බර් 28 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවූ බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
















