පළාත් සභා මැතිවරණය සඳහා වෙන් කරන ලද මුදල් ආපදා සහන කටයුතු වෙනුවෙන් යොදාගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.
ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා පරිත්‍යාගශීලීන් විසින් ලබා දී ඇති සියලුම මූල්‍ය ආධාර නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවතින විශේෂ ගිණුමක සුරක්ෂිතව තැන්පත් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
මෙම අරමුදල් ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවනෝපාය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ හානියට පත් පොදු යටිතල පහසුකම් යළි නගා සිටුවීම සඳහා විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව යොදා ගැනීමට නියමිත බව ඇය පැවසුවාය. මෙම අරමුදල් කළමනාකරණය කිරීමේදී සහ භාවිත කිරීමේදී ඉහළම මට්ටමේ විනිවිදභාවය, වගවීම සහ යහපාලන මූලධර්මයන් අනුගමනය කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















