දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවන බවත්, ශ්‍රී ලංකාව යනු ජනතාව පාලනය කරන වෙනම ව්‍යුහයක් නොව ජනතාව සමඟ එක්ව පාලනය කරන, සියලු දෙනා ඇතුළත් කරගත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ජාත්‍යන්තර අධ්‍යයන සංගමය (ISA) මඟින් “වෙනස් වෙමින් පවතින ලෝක දේශපාලනය තුළ දකුණු ආසියාව” යන තේමාව යටතේ දකුණු ආසියාවේ ප්‍රථම වරට කොළඹදී සංවිධානය කරන **ISA – South Asia in World Politics (SAWP) Conference 2026** සමුළුව අමතමින් අගෝස්තු 06 වැනි දින අග්‍රාමාත්‍යතුමිය මෙම අදහස් පළ කළාය.
අගෝස්තු 6 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපීය සහ ජාත්‍යන්තර විද්වතුන්, පර්යේෂකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් රැසක් සහභාගී වී සිටිති. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය, සියල්ලන් ඇතුළත් සංවර්ධනය, යුක්තිය, සමානාත්මතාවය සහ කලාපීය සහයෝගීතාවය මත දකුණු ආසියාවේ අනාගතය රඳා පවතින බවයි.














