නීතියට අනුකූලව පැවැත්විය යුතු සහ පැවැත්විය හැකි සියලු මැතිවරණ අනිවාර්යයෙන්ම පවත්වන බවත්, කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නොමැති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පසුගිය වසර එකහමාරක කාලය තුළ වත්මන් රජය මැතිවරණ දෙකක් සාර්ථකව පවත්වා ඇති බවත්, මැතිවරණවලට මුහුණ දීමට රජය කිසිසේත්ම බිය නොවන බවත් අගමැතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්වූ අගමැතිනිය, එම මැතිවරණ පැවැත්වීම සඳහා බලාත්මක වූ නීතියක් නොමැති වීම සහ මැතිවරණ සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය තවමත් අවසන් අදියරට පැමිණ නොමැති වීම ඊට ප්‍රධාන බාධාවක් බව පෙන්වා දුන්නාය.
මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව පාර්ලිමේන්තුවට ලබාදෙන වාර්තාව අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය. මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ඉදිරි මැතිවරණ පැවැත්වීමට රජය සූදානම් බව ඇය තවදුරටත් පැවසුවාය.
තවද, මීට පෙර මැතිවරණ කල් දැමූ පාර්ශවවල නියෝජිතයන් අද මැතිවරණ නොපැවැත්වීම පිළිබඳව ප්‍රශ්න කිරීම අනුචිත බව ද අගමැතිනිය මෙහිදී සිහිපත් කළාය.
















