සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු අයුරකින් විකිණීමට හෝ එහි කොටස් කිරීමට රජයට කිසිදු සූදානමක් නොමැති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය. බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේ පැවැති සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 29 වැනි ජාතික සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන සමෘද්ධි සංවර්ධන අධිකාරිය ඉතා ශක්තිමත්ව සහ ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බව ඔහු සඳහන් කළේය. සේවක උසස්වීම් පටිපාටිය මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය කාලසීමාව තුළ ජාතික ජන බලවේගය රජය විසින් සමෘද්ධි සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව, වැටුප් අධිභාරය සහ වැටුප් කේත සම්බන්ධ ගැටලු ඇතුළු සේවක ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබා දී ඇති බවත්, ප්‍රශ්නගත සේවකයන් පිළිබඳ විමර්ශන කඩිනම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද, පසුගිය රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවක මහත්ම මහත්මීන් දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා බවත්, රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය සුරකිමින් ඔවුන්ට සේවය කිරීමට සුදුසු පරිසරයක් රජය විසින් නිර්මාණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම අවස්ථාවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු නිලධාරීන් සහ කළමනාකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















