මැන්චෙස්ටර් යුනයිටඩ් නායක හැරී මගුවයර්ට (Harry Maguire) එංගලන්ත පාපන්දු සම්මේලනය (FA) විසින් අමතර එක් තරග තහනමක් පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන සෙනසුරාදා චෙල්සි කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක ප්‍රිමියර් ලීග් තරගය ඔහුට අහිමි වනු ඇත. පසුගිය මාසයේ බෝර්න්මත් කණ්ඩායම සමඟ පැවති තරගයේදී රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වන අවස්ථාවේදී සිව්වන විනිසුරුවරයාට අපහාසාත්මක ලෙස බැණ වැදීම හේතුවෙන් මෙම දඬුවම නියම වී ඇති අතර, තරග තහනමට අමතරව පවුම් 30,000ක දඩයක් ද ඔහුට පනවා ඇත.
මෙම තත්ත්වය හමුවේ පුහුණුකරු මයිකල් කැරික් (Michael Carrick) දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ යුනයිටඩ් ආරක්ෂක පෙළේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අහිමි වී ඇති බැවිනි. ලීඩ්ස් යුනයිටඩ් සමඟ පැවති තරගයේදී රතු කාඩ්පතක් ලැබූ ලිසැන්ඩ්‍රෝ මාර්ටිනස් ද මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, මතෙයිස් ද ලික්ට් (Matthijs de Ligt) ආබාධයකට ලක්ව සිටී. මේ නිසා 20 හැවිරිදි ලෙනී යෝරෝ සහ 19 හැවිරිදි ඒඩන් හෙවන් යන අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයින් මත ආරක්ෂක වගකීම පැවරීමට කැරික්ට සිදුවනු ඇත. එසේත් නැතිනම් ලූක් ෂෝ හෝ නූසෙයර් මස්රාවි වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයින් මැදපෙළ ආරක්ෂක ස්ථාන සඳහා යොදා ගැනීමට ඔහුට සිදුවනු ඇත.
ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට, මීළඟ වසරේ චැම්පියන්ස් ලීග් සුදුසුකම් ලබා ගැනීම සඳහා මෙම චෙල්සි තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක වේ. ඇස්ටන් විලා කණ්ඩායම සමඟ කරට කර සටනක නිරත වන යුනයිටඩ් පිලට, සිය ප්‍රධාන ආරක්ෂක ක්‍රීඩකයින් නොමැතිව ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී චෙල්සි පිලට මුහුණ දීම විශාල අභියෝගයක් වනු ඇත. සෙනසුරාදා චෙල්සි පිල ජයග්‍රහණය කළහොත් යුනයිටඩ් සහ චෙල්සි අතර ලකුණු පරතරය 4ක් දක්වා අඩුවන අතර එය යුනයිටඩ් කණ්ඩායමේ ඉදිරි ගමනට තර්ජනයක් වනු ඇත.














