ජාතිය, ආගම සහ භාෂාව පදනම් කරගත් පැරණි බෙදුම්වාදී දේශපාලන සංස්කෘතිය ශ්‍රී ලංකීය ජනතාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව අධිකරණ සහ ජාතික සෞභාග්‍ය අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දෙයි. ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙරට අතීත දේශපාලනය විසින් ජනතාවගේ අනන්‍යතාවන් බලය තහවුරු කරගැනීමේ මෙවලම් බවට පත් කරගත් බවයි. එහෙත්, පුරවැසියන් තම අනන්‍යතාවට සහ ආගමට මුල්තැන දෙන අතරම තවත් මිනිසෙකුගේ අයිතීන්ට හාස්‌ප්‍ය නොවන ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් ඉල්ලා සිටින බව පසුගිය මැතිවරණ ප්‍රතිඵලවලින් මනාව පැහැදිලි වූ බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය සේවය ජනතාවට සැබෑ ලෙසම සමීප කිරීම සඳහා භාෂා පරතරය සහ සන්නිවේදන බාධක ඉවත්කිරීමේ ජාතික අවශ්‍යතාව මෙහිදී දැඩි ලෙස මතු කෙරිණි. ගොවියෙකුට තම ඉඩම් ලියකියවිලි තේරුම් ගැනීමටත්, පොලිසියට හෝ රෝහලකට යන සාමාන්‍ය පුරවැසියෙකුට තමන්ගේම භාෂාවෙන් සේවා ලබා ගැනීමටත් ඇති අයිතිය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවක් වී තිබේ. වසර ගණනාවක් පුරා පුරප්පාඩු වී පැවති රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තක තනතුරු 17ක් සඳහා නව නිලධාරීන් පත්කිරීම හුදු රැකියා ලබාදීමක් ලෙස නොව, විවිධ ප්‍රජාවන් අතර විශ්වාසය හා සහජීවනය ගොඩනඟන නව සන්නිවේදන දොරටු ලෙස අමාත්‍යවරයා හැඳින්වීය.
වෙනස්කම් මකා දැමීම වෙනුවට විවිධත්වය අගයමින් එකිනෙකාට ගරු කරන නව දේශපාලන සහ සමාජීය සංස්කෘතියක් ගොඩනැගීම වත්මන් අභියෝගය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. භාෂා පරිවර්තකයන් යනු හුදු වචන පරිවර්තනය කරන්නන් පමණක් නොව, රාජ්‍යය සහ පුරවැසියා අතර පාලම් නඟන, සංස්කෘතීන් සමීප කරන සහ ජනතාවගේ අපේක්ෂා නිවැරදිව රාජ්‍ය යාන්ත්‍රණයට රැගෙන යන අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් පිරිසකි. මෙම ක්‍රමෝපායික වෙනස්වීම් හරහා ඉදිරියේදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නංවාලමින්, කිසිදු පුරවැසියෙකු භාෂාව හෝ අනන්‍යතාව මත කොන් නොවන ස්ථාවර සහ සාමකාමී රටක් නිර්මාණය කිරීමට පුළුල් පදනමක් වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















