අධිකරණ පද්ධතියේ වසර ගණනාවක අත්දැකීම් සහිත පරිණත විනිසුරුවරුන් විශ්‍රාම යාම වැළැක්වීම සඳහා ඔවුන්ට තවදුරටත් ආකර්ෂණීය දීමනා සහ වරප්‍රසාද ලබාදීමට රජයට සිදුවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
විනිසුරුවරයෙකු වසර 30ක් හෝ 40ක් සේවය කර, දැනුමෙන් සහ අත්දැකීම්වලින් උපරිම තලයකට පැමිණෙන අවස්ථාවේදී විශ්‍රාම යාම රජයට සිදුවන විශාල පාඩුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි පළපුරුදු නිලධාරීන් තවදුරටත් සේවයේ රඳවා ගැනීම සඳහා ඔවුන්ට ලැබෙන වරප්‍රසාද ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළේය.
මෙම හමුවේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, එය එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ගෙන එන්නක් බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්, ව්‍යවස්ථාවට අනුකූලව යම් පනතක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමේ පරම බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට මිස රජයට නොවන බවත් වැඩිදුරටත් පැහැදිලි කළේය.
















