මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් ලබාදීමට සූදානම් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. බන්ධනාගාර තුළ හදිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ මහර බන්ධනාගාර පරිශ්‍රයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය ගැටළුවක්ව පැවති නමුත්, රාත්‍රී 10.00 පමණ වනතුරු රාජකාරි කරමින් පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් වාර්තා 9,081ක් නිකුත් කර ඇති බවත්, ඉදිරි මාස දෙක තුළ පවතින සියලු වාර්තා නිකුත් කිරීම අරමුණ බවත් ඔහු පැවසීය. බන්ධනාගාරගතව සිටින සියලුදෙනා අපරාධකරුවන් නොවන බැවින් ඇතැම් පුද්ගලයන්ට දෙවන අවස්ථාවක් ලබාදිය යුතු බවත්, බන්ධනාගාර 15ක මේ වන විට ශක්තිමත් ඒකාබද්ධ යාන්ත්‍රණ ස්ථාපිත කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මහර බන්ධනාගාරයේ හානියට පත් ස්ථාන නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, රැඳවියන් සමාජයට යහපත් පුද්ගලයන් ලෙස කටයුතු කළ යුතු බව ඉල්ලා සිටි අතර, මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට කිසිදු සමාවක් නොමැති බව යළිත් අවධාරණය කළේය.














