හදිසි නීතිය ජනතාව පීඩාවට පත් කිරීම සඳහා යොදාගෙන නොමැති බැවින් කිසිදු බියකින් තොරව ආණ්ඩුව විවේචනය කරන ලෙසත්, එසේ විවේචනය කරන පිරිස් යටපත් කිරීමට කටයුතු නොකරන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. හදිසි නීතිය දීර්ඝ කිරීමේ පාර්ලිමේන්තු විවාදයට අද (09) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව භාෂණයේ නිදහස මර්දනය නොකරන බවයි. එමෙන්ම පවතින ත්‍රස්ත විරෝධී පනත අහෝසි කර, ඉදිරි මාස දෙක ඇතුළත නව පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට පියවර ගන්නා බව ද ඔහු අනාවරණය කළේය.
රට තුළ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, විනිසුරුවරුන් මාරු කිරීමේ කටයුතුවලට විධායකය හෝ ආණ්ඩුව කිසිසේත්ම මැදිහත් නොවන බවත්, ව්‍යවස්ථාපිතව ස්ථාපිත කර ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් පමණක් එම කටයුතු ස්වාධීනව සිදු කෙරෙන බවත් අවධාරණය කළේය.
මීට අමතරව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට රජය ජනතාවට ලබා දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරන බව පැවසූ අමාත්‍යවරයා, අදාළ වරදකරුවන් නිසි සාක්ෂි මත පදනම්ව අධිකරණය හමුවට පමුණුවමින් වින්දිතයන්ට කඩිනමින් යුක්තිය ඉටු කරන බව ද විවාදයේදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
















