ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය (Chartered Institute of Media Professionals of Sri Lanka) යනු මෙරට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන්ම ස්වාධීනව පිහිටුවනු ලබන ආයතනයක් බව කැබිනට් මණ්ඩල ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අදාළ ස්වාධීන ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත රජය විසින් මේ වන විට ගැසට් කර ඇති අතර, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම වරලත් ආයතනය පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වා දීම, ඒවා පවත්වාගෙන යාම සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙම සුවිශේෂී ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විටත් මෙරට ක්‍රියාකාරී මාධ්‍යවේදීන්, ප්‍රධාන මාධ්‍ය ආයතන මෙන්ම විශ්වවිද්‍යාලීය ජනමාධ්‍ය අධ්‍යයනාංශවල ආචාර්යවරුන්ගේ ද අදහස් හා යෝජනා පුළුල් ලෙස ලබාගෙන ඇති බවයි.
මෙය මෙතෙක් ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ නොතිබූ, පළමු වරට වෘත්තීය මට්ටමින් පිහිටුවනු ලබන ස්වාධීන ආයතනයක් බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. දැනට මෙම පනත් කෙටුම්පත ගැසට් මට්ටමේ පවතින බැවින්, ඉදිරියේදී අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා තවදුරටත් සුදුසු සංශෝධන සිදුකිරීමට අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















