පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, දියගල ප්‍රදේශයට පස් කඳු කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව වාර්තා වේ. ‘දිට්වා’ සුළි කුණාටුව පැවති සමයේ විශාල නායයාමකට ලක්වූ ස්ථානයේම, ඊයේ (10) ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ යළිත් පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසති.
පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මන්තීරුවකට සීමා කර ඇති අතර, මෙය රියදුරන්ට දැඩි බාධාවක් වී තිබේ. මාර්ගයට කඩා වැටී ඇති පස් සහ ගල් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා සඳහන් කළේය. පවතින වර්ෂාවත් සමඟ කඳුකර මාර්ගවල තවදුරටත් නායයාමේ සහ පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් එම මාර්ගය භාවිතා කරන රියදුරන් දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ.















