සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහනේදී පාසල් සහ රජයේ ආයතන ඇතුළු පරිශ්‍ර විශාල ප්‍රමාණයක මදුරුවන් බෝවන ස්ථාන පවතින බව හෙළි වී ඇත. වැඩසටහනේ ගත වූ දින දෙක තුළ පරීක්ෂා කළ මුළු පරිශ්‍ර 62,351න් 16,190ක්ම මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.
මෙම පරීක්ෂණ වාර්තාවලට අනුව කර්මාන්තශාලාවලින් 61%ක් ද, ඉදිකිරීම් බිම්වලින් 55.4%ක් ද සහ ආගමික ස්ථානවලින් 51.5%ක් ද මදුරුවන් බෝවිය හැකි මට්ටමක පවතී. විශේෂයෙන්ම පාසල්වලින් 44.7%ක සහ රජයේ ආයතනවලින් 40.4%ක මදුරුවන් බෝවීමේ ඉහළ අවදානමක් නිරීක්ෂණය වී තිබීම දැඩි සැලකිල්ලට ලක්විය යුතු කරුණකි.
සමස්ත පරීක්ෂණවලදී මදුරු කීටයන් සිටින පරිශ්‍ර 3,948ක් තහවුරු කරගත් අතර, එයින් වැඩිම ප්‍රතිශතයක් එනම් 58%ක් වාර්තා වී ඇත්තේ නිවාස ආශ්‍රිතවය. නීති රීති උල්ලංඝනය කරමින් පරිසරය අපිරිසිදුව පවත්වාගෙන ගිය පුද්ගලයන් 1,500 දෙනෙකුට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති අතර, තවත් 2,244 දෙනෙකුට අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ ඉදිකිරීම් බිම් සහ කර්මාන්තශාලා ආශ්‍රිතව නීති කඩ කිරීම් වැඩි බැවින් එම ස්ථාන කෙරෙහි විශේෂ නීතිමය අවධානයක් යොමු කර ඇති බවයි. ඩෙංගු මර්දන ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් නැවත නැවතත් ඉල්ලා සිටී.
















